ගංඟාවේ ගීතය
නිරසයි අතරමග අවහිර නොදුටු බිම
කදු බෑවුමක දං බෝවිටි පදුරු තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින තළා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා
සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතනදී හෝ මහ මුහුද හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට දෙමි
එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ
විසිරී යන පරිදි රන් සමණලුන් රොඳ
වනමල් පඳුරු දෙදෙරවමින් මුලින් අද
උඩ පැන පැන නටා ඇවිදින් ගිමන් සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද
සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
කේතකි ගුහා ,උක් කොටු වෙළ් එළි ඔස්සෙන්
හේ දඬු- බට පඳුරු නිල් ඕවිට අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්
මහ හඬ දිදී වස්දඩු තාලයට හඬා
කදුරැල් වලින් ඇද හැලෙමින් නොවිද විඩා
වන දෙව්ලියන්ගේ ගම්මානයක කුඩා
කැරකෙමි සිනා රැළි මතුකොට ඉවුරු කඩා
හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු බිම
එච්.එම් කුඩලිගම