සිංහල සිනමාවෙහි නිරුවත් මානය | Nudity in Sinhala movies
“මේ චිත්‍රපටයෙහි ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑ චරිතයෙහි නිරුවත් ජවනිකා සඳහා වෙනත් නිළියක යොදා ගන්නා ලදී.”
මෙබඳු සටහනක් දිස් වන්නේ වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා’ චිත්‍රපටය අවසානයේය. මේ එක්තරා දුරකට හෝ ලිබරල් වූ ස්වර්ණාද නිරුවතට බිය වූ තරම්ය. (මේ චිත්‍රපටයේ ‘නිරුවත’ කියා අදහස් කරන්නේ කවර හෝ නිළියකගේ කලවා පෙන්වීමය.)
රංගනය සඳහා නිරුවත් වීම බටහිර රට වලට අමුතු දේවල් නොවේ. එය චිත්‍රපට වලදී පමණක් නොව වේදිකා නාට්‍ය වලදීද සිදු වන්නේය. Equus නම් වේදිකා නාට්‍යය වෙනුවෙන් වසර කිහිපයකට පෙර මුළුමනින්ම නිරුවත් වූයේ හැරි පෝටර් චරිතයෙන් ප්‍රේක්ෂක ජනාදරයට පත් එවකට දහහත් හැවිරිදි ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ය. මෙවර ඔස්කාර් හොඳම නිළිය සම්මානය දිනාගත් කේට් වින්ස්ලෙට් තම තඹවන් රති රෝම පඳුර මුළුමනින්ම නිරාවරණය වනසේ උඩුබැළිව වැතිර සිටිනා දර්ශන ඇතුළත් චිත්‍රපට කොටස් You Tube වල දක්නා ලැබේ. එහෙත් අනුන්ගෙන් ණයට ගත් වික්ටෝරියානු සංස්කෘතියෙන් මඬනා ලද සිංහල සිනමා තිරයට තවමත් නිරුවත ගොඩයට මැජික් එකකි.
පෙම්බර මධු චිත්‍රපටය සඳහා නිරුවතින් තේ වත්තක් මැදින් දිව යන දර්ශනයකට පෙනී සිටියේයැයි එය තිරගත වූ සමයේ ගීතා කුමාරසිංහට ‘චෝදනා’ එල්ල විය. ඇය බොහෝ කලකට පසුව කියා සිටියේ දුර සිට තිර ගත කරන ලද ඒ දර්ශනය වෙනුවෙන් පෙනී සිටියේ චිත්‍රපටයේ සුළු වැඩ කිරීමට පැමිණි කොල්ලන් දෙදනකු බවය.
ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ නිරුවත කලාත්මක ලෙස භාවිතා කළ තවත් චිත්‍රපටයකි. එහි විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය හා විමල් කුමර් ද කොස්තා රඟපාන ප්‍රධාන චරිත තුන නිරුවතින් මුහුදු වෙරළෙහි නාන දර්ශනය සඳහාද සමහරවිට යොදා ගන්නට ඇත්තේ අතිරේක නළු නිළියන් විය හැකිය. එහෙත් කථාව අවසානයේ මාරාන්තික තුවාල ලැබ, මුහුද දෙසට ඇවිද යද්දී සරම ගිලිහී අමු නිරුවත් වන ධීවරයාගේ චරිතය සඳහා පෙනී සිටින්නේ ජෝ අබේවික්‍රමමය. මුහුද හා වෙරළ පරස්පරය පසුබිම් කොට නැඟෙන නිරුවත් මිනිසකුගේ මේ රූපරාමු පෙළ සිංහල සිනමා වංශ කතාවෙහි අනභිභවනීය රූපරාමු පෙළකි.
මහගමසේකරගේ තුංමංහන්දියෙහි ගැටවුන් පිරිසක් නිරුවතින් ඇළට පැන දියනාන දර්ශනයද ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වෙනි යාමයෙහි ප්‍රධාන නිළිය (ඉන්දිරා ජොන්කලස්) දියනාන දර්ශනයද කළුසුදු යුගයේ සිංහල සිනමාව නිරුවත් වූ මතකයේ රඳන අවස්ථා දෙකකි.
කළුදියදහර චිත්‍රපටයෙහි නිරුවත් දර්ශන ප්‍රේක්ෂකයා හමුවට නොපැමිණියේ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායකගේ කතුරට හසුවූ නිසාය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇගේ සහෝදරයකු බැවින් ඇයට මේ දැඩි තීරණය ගන්නට සිදුවිය. නැතිව ඇය වත්මන් සංස්කෘතික ඇමති මහින්ද යාපා අබේවර්ධන සේ කලා විහීනයකු නොවූවාය.
වර්ණ යුගයට අවතීර්ණ වීමෙන් පසු නිරුවත් දර්ශන සිංහල සිනමාවට එක්තරා මට්ටමකට ආගන්තුක විය. ඒ කළුසුදු රූපරාමු වල මෙන් නොව වර්ණ හරඹයේදී නිරුවතට කලාත්මක වටිනාකමක් ලබා දීම අසීරු වූ නිසාය. වර්ණ සිනමාකරණයේදී ඉතා සුළු වැරැද්දකින් පවා නිරුවත් රූප රාමු ශෘංගාරාත්මක (erotic) විය හැකිය. මේ දුෂ්කරතාව වර්ණවත් වූ සිංහල සිනමාව තුළ බොහෝ අධ්‍යක්ෂකවරුන් තේරුම් ගත්තාක් සේ පෙනේ. වර්ණ යුගයේ නිරුවත් හරඹ කිරීමට ඔවුන් පෙළඹී නැත්තේ එනිසා විය යුතුය.
මේ අභියෝගය ජයගැනීමට උත්සාහයක් හෝ දැරූ අධ්‍යක්ෂක වරුන් අප රටෙහි සිටීනම් ඒ අතළොස්සක් පමණකි.
අශෝක හඳගම කෙතෙක් නිර්භීත වුවද ඔහුගේ නිර්භීතභාවයම සිනමාවට අරුතක් එක් කළේ නැත. හඳගම කළ එකම ප්‍රබල නිරුවත් දර්ශනය ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයෙහි තරුණයකුමෙන් වෙස්වළා සිටින කථා නායිකාවගේ ලිංගිකත්වය තීරණය කිරීම සඳහා වැඩපළෙහි ලොක්කාගේ අනුදැනුම මත ඇය බලෙන් නිරුවත් කරන දර්ශනයයි. මේ හැරුණු විට කතාව අවසානයේ එන ඉදිරි නිරුවත් (frontal nude) දර්ශනය චිත්‍රපටයට අමුතු වටිනාකමක් එක් කරන්නේ නැත. ප්‍රසිද්ධියේ තිරගත නොවූ අක්ෂරය චිතරපටයේ නිරුවත් දර්ශන ඒ තරම් වත් වටිනාකමක් නැති ඒවාය. ඒවායේ කලාත්මක තියා ශෘංගාරාත්මක අගයක්වත් නැත. මේවා ශෘංගාරාත්මකව දුටු මහින්ද යාපා අබේවර්ධන නම් දේශපාලකයා සෑහෙන කලකින් ගැහනියකගෙන් තෘප්තිමත් නොවූ ලිංගික පිපාසිතයකු විය යුතුය.
විමුක්ති ජයසුන්දර ගැන අදහස් පළකළ නොහැක්කේ ලේඛකයා ‘සුළඟ එනු පිණිස’ මුළුමනින් නරඹා නැති හෙයිනි. ඇගේ වෛරය බඳු ‘සෙක්ස්’ චිත්‍රපට ඔහු නරඹා නැතුවාසේම ඒවා ගැන අදහස් දැක්වීමටද අවශ්‍යතාවයක් නොවේ.
සිංහල සිනමාවෙහි පුරෝගාමියාය කියන ලෙස්ටර් ජේම්ස් පීරිස් (මේ හැඳින්වීම ගැන ලේඛකයාට ප්‍රශ්න ඇත. එහෙත් ඒවා මෙතනට අනදාළය.) නිරුවත් දර්ශනයක අභියෝගය භාරගත්තේ එක් අවස්ථාවක පමණය. ඒ ‘බැද්දේගම’ චිත්‍රපටයේ බබුන් පුංචිමැණිකා ‘බැද්දට උහා යන’ දර්ශනය සඳහාය. ලෙස්ටර්ගේ අදහස වූයේ එය සාමාන්‍යයෙන් හැඟෙන පරිදි දූෂණයක් නොව එවක ප්‍රාථමික ජන කොටස් අතර පැවති ලිංගික වාරිත්‍රයක් (sex ritual) බවය. එය දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවන ගැමි තරුණයකු තරුණියක හා එක් වීමේ පළමු අවස්ථාවය. විනාඩි පහකින් යුතු මේ දර්ශනය සඳහා විජය කුමාරතුංග හා මාලිනි ෆොන්සේකා පෙනී සිටියේ අමු නිරුවතිනි. අවාසනාවකට එය කපන මණ්ඩලයේ කුහකයන්ගේ කතුරට හසුවිය.
ලේඛකයාට මේ උදාහරණ මතක් වන්නේ කේට් වින්ස්ලෙට් 2008 ඔස්කා හොඳම නිළියට හිමි සම්මානය දිනු The Reader චිත්‍රපටය නරඹා අවසානයේය. (ඉහළින් ඇති ඡායාරූපය මේ චිත්‍රපටයෙනි.) The Reader ඉතා කලාත්මක ලෙස නිරුවත් රූප රාමු යොදාගනී. මෙහි දහහත් හැවිරිදි ප්‍රධාන නළුවා (ළමා කාලය) වැඩිමහල් නිළිය (කේට් වින්ස්ලෙට්) විසින් නාවන දර්ශනයකදී, සිට ගෙන සිටින ඔහුගේ සම්පූර්ණ නිරුවත් සිරුර පාදයේ සිට හිස දක්වා දැඩි සංයමයකින් යුතුව කැමරාවට හසු කර ගනී. මේ කිසිම ලාංකීය අධ්‍යක්ෂකවරයකු විසින් මෙතෙක් දක්වා නැති පෙළහරකි.
නිරුවත අපේ සිනමාකරුවන්ට මීට වඩා ප්‍රශස්ත මට්ටමින් විෂය වන දිනක් ඒද? නැතිනම් අප තවදුරටත් සුද්දාගේ වික්ටෝරියනු කුහක සදාචාරය තුළ සිරවී තවදුරටත් කලාවට වැට කඩුළු බඳිමුද?