මධ්‍යමට මන්ත්‍රීවරුන් 55 ක් - වයඹට - 52 ක් උතුරට - 38
ක්
රනිල් ධර්මසේන
මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා
පත්‍ර කැඳවීම මෙම මස 25 වැනිදා සිට අගෝස්‌තු 01 වැනිදා
මධ්‍යහ්න 12 දක්‌වා සිදුකිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයා
තීරණය කර ඇත.
මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (11 වැනිදා) නිකුත් කර
තිබිණි. ඒ අනුව පළාත් තුනෙහි දිස්‌ත්‍රික් තේරීම් භාර
කාර්යාලවලදී නාම යෝජනා පත්‍ර භාරදීමට දේශපාලන පක්‍ෂ හා
ස්‌වාධීන කණ්‌ඩායම්වලට පහසුකම් සලසා තිබේ. ස්‌වාධීන
කණ්‌ඩායම්වලින් ඇප මුදල් තැන්පත් භාර ගැනීම මෙම මස 31
වැනිදා දහවල් 12.00 ට අවසන් වෙයි.
මධ්‍යම පළාත් සභාවට මන්ත්‍රීවරුන් 53 දෙනකු තෝරාපත් කර ගනු
ලබන අතර ප්‍රසාද මන්ත්‍රී ආසන 2 සමග සියලු මන්ත්‍රී
සංඛ්‍යාව 55 ක් වෙයි. වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරුන් 50
දෙනකු ඡන්දයෙන් තෝරාගනු ලැබේ. ප්‍රසාද මන්ත්‍රී 2 සමග
පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 52 දක්‌වා වැඩිවෙයි.
උතුරු පළාත් සභාවට මන්ත්‍රීවරුන් 38 දෙනකු පත්කෙරේ. එයින්
36 දෙනෙක් ඡන්දයෙන්ද දෙදෙනෙක් ප්‍රසාද මන්ත්‍රීවරු ලෙසද
පත්වෙති. ඡන්දයෙන් පත්කර ගන්නා 36 දෙනා යාපනයෙන් 16,
මන්නාරම 5, වව්නියාව 6, මුලතිව් 5 හා කිළිනොච්චිය 4 ලෙස
තේරීපත් වෙති.
ඡන්ද විමසීම සිදුකරන දිනය නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය
වන අගෝස්‌තු මස 01 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.